පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබෙනවා
ඒ අනුව ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 437 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුනා.
එසේම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , ඕමානයේ මස්කට් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 සහ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.
ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ වෙත දමාම් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 254 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගුවන් ගමන් බාධාවකින් තොරව පවත්වා ගැනීමේ පරිසරයක් පැවතියද , එයින් පිටත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මෙම ගුවන් යානා වලට බාධාවක් වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 ගුවන් යානය කීප අවස්ථාවක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වීම නිසා යළිත් ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබෙනවා.
එහෙත් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්වන ගුවන් යානා රාශියක් සිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ගෙන යමින් සිටිති .
එසේම මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ සලාම් එයාර් ගුවන් යානය ද මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබෙන බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසා සිටියේ




