විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර උපතිස්ස ගම උපතිස්ස රජමහා විහාරයේ දී ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව අමතමින් කල අදහස් දැක්වීම පහතින් දැක්වේ.
පසුගිය කාලයේ වට්ටක්කා, බඩඉරිගු විකිණුනේ කුණු කොල්ලයට බවත් වත්මන් ඇමතිවරු විපක්ෂයේ සිටින විට ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙන්න නීති සකස් කරනවා කිව්වත් ඔවුන් බලයට පැමිණි පසු තෙත වි ගත්තේ රු. 90ත් 95ට බවත් මෙවැනි ගැටලු මැද ගොවියාට ප්‍රශ්න නැති බවත් වී කිලෝවක් හදන්න රු.70ත් 75ක් යන බවට ඇමතිවරු කියමින් ගොවියාට ගැටලු නැති බවට පෙන්වීමට උත්සාහ කරන බවත් ඇත්ත කතාව වන්නේ ගොවියා රවටා ජනාධිපති බලය මහමැතිවරණ බලය පළාත් පාලන ආයතන බලය ලබා ගෙන ඇති බවත් මොවුන්ට දැන් ගොවියා සිටියත් නැතත් ගැටලුවක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ අවස්ථාවට උපතිස්ස රජමහා විහාරාධිපති පුංචි හල්මිල්ලෑවේ පඤ්ඤාරතන හිමියන් මෙන්ම රෝහණ බණ්ඩාර මහතා ද එක් විය.
රජය මෙසේ කළත් ගොවියා සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් සමගි ජන බලවේගය සතුව ඇති බවත් ආණ්ඩුව බොරු කිව්වා ඇති බවත් ජනතාවද මේ බොරුවට තවත් නොරැවටෙන ලෙසත් බොරුවට මුසාවට මුලාවට රැවටුනා ඇති බවත් නිර්ධන පන්තිය ගැන ගොවි ජනතාව ගැන කතා කළ වත්මන් රජය ගොවියා රජකරවනවා කියා ගොවියාගේ ඡන්දය පිට්පොකට් ගසා ඔවුන් රජ වී ගොවියා අතරමං කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ සමගි ජන බලවේගය එදත් අදත් හෙටත් ඉන්නේ ගොවියා සමග බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ජනතා ගැටලු හමුවේ නිදා සිටින රජය අවදි කරන්නේ සමගි ජන බලවේගයයි
විපක්ෂයට බලයක් නොමැති යැයි ජනතාවට කියනවා වෙනුවට ජනතාවගේ ගැටලුවලට සවන් දී ඒ්වා අවබෝධ කර ගෙන ඒවට දිය හැකි හොඳම විසදුම් දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනතා ගැටලු හමුවේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එසේ නිදා සිටින ඇමතිවරු බලහත්කාරයෙන් ඇහැරවා හෝ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉඩම් ගැටලුව විසඳන්න ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් අවශ්‍යයි
ඉඩම් ගැටලු විසදීමට නම් රටකට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් අවශ්‍ය බවත් ගොවිතැන් ඉඩම්, රක්ෂිත ඉඩම්, වනජීවී ඉඩම්, ජනාවාස හා සංවර්ධන ඉඩම්, කර්මාන්ත ඉඩම් ආදී ජාතික සැලසුමක් තිබිය යුතු වුවත් අද එවැනි වැඩපිළිවෙළක් නොමැති බවත් ඒ සැලසුම සකස් කර විද්‍යාත්මක වන අලි සංගණනයක් සිදු කර ඒ දත්ත ජනතාවට ලබා දී වන අලි සඳහා අවශ්‍ය රක්ෂිත වනජිවී භූමි වෙන් කර පාරම්පරික ගොවි බිම් ආරක්ෂා කර ජීවනෝපාය ශක්තිමත් කළ හැකි බවත් මෙහි දී ජනතාව ජීවත් කරවන සටනත් වනජිවීන්ගේ සුරක්ෂිතතා සටනත් මේ තුළින් ජයගත හැකි බවත් එවැනි විසදුම් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද ජිවිත හානි වන්දිය ලක්ෂ 10යි.
වගා හානියට ගෙවන වන්දි, දේපල හානි වන්දිවලට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවත් මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් මේ අලි මිනිස් ගැටුමට ජාතික විසදුමක් ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් සෑම ඉඩමක්ම පරීක්ෂා කර නිවැරදි විසදුම් දිය යුතු වුවත් මේ රජයට එය කළ නොහැකි බවත් උතුරුමැද පළාත් සභාවේ බලය සමගි ජන බලවේගයට දුන්නහොත් මේ ගැටලුවලට රජයට වඩා විසදුම් දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අස්වැන්නට සාධාරණ මිලක් අද නැහැ
වන අලි ගැටලුව මෙන්ම ඉහළ ප්‍රමිතියේ බීජ නොමැති වීම, බීජවල මිල අධික වීම, පොහොර සහනාධාරය නිසි වෙලාවට නොලැබීම, පොහොර සහ කෘෂි රසායන ගුණාත්මක නොවන බවත් මිල පවා වැඩි බවත් වගා කටයුතුවලට හෙක්ටයාරයට රු. 25000ක් සහ එය හෙක්ටයාර 2ට සීමා කර ඇති බවත් මේ මුදලින් නම් පොහොර ගත නොහැකි බවත් මෙවැනි ගැටලු මැද උපකරණවල මිල පවා වැඩි වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් උඩ නෙළන අස්වැන්නට සාධාරණ නිසි මිලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14021ක් කුඩා ගම්මාන 50964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.