අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා

අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් සැකකාර චරිත රත්වත්තේ මහතා අද පස්වරු 2.45 ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

එහෙත් අද පස්වරු 3.15 ට පමණ අධිකරණ ශාලාව තුළ විදුලිය විසන්ධි වීම නිසා පැයකට අධික කාලයක් නඩුව කැඳවීමක් සිදුවුණේ නෑ.

ඉන් අනතුරුව මෙම නඩුකරය කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතාගේ නිලමැදිරිය තුළයි.

එහිදී අධිකරණ කටයුතු භාර පොලිස් නිලධාරියා නිවේදනය කළේ සැකකරු සමග එක් නීතිඥවරයෙකු සහ අල්ලස් කොමිසමේ එක් නිලධාරියෙකු නිල මැදිරියට තුළට පැමිණෙන ලෙසයි.

ඒ අනුව සැකකාර චරිත රත්වත්තේ මහතා සමග ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සහ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි සහ එහි නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරිය තුළට ගොස් කරුණු ඉදිරිපත් කිරීම් සිදුකළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කළා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

සැකකරුගේ විදේශය ගමන් බලපත්‍රයේ අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.

ඊට අමතරව සැකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැලකිය යුතු බවත් තවත් නියෝගයක් පනවනු ලැබුවා.

ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා කැඳවීමටයි අධිකරණය නියම කළේ.

2015 වසරේ අග්‍රාමාත්‍ය උපදේශකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අවශ්‍යතාවයක් නොමැතිව තිබියදී වී ගබඩා කිරීම සඳහා යොදාගන්නා කොකුන් උපකරණ 50 ක් විධිමත් භාණ්ඩ මිලදී ගැනීමේ පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව තමන් විසින් හඳුන්වා දුන් සමාගමකින් මිලදී ගැනීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා නිලධාරීන්ට බලපෑම් කර තිබෙන බවට සැකකාර චරිත රත්වත්තේ මහතා වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

එම ක්‍රියාව තුළින් සැකකරු විසින් රුපියල් 99,679,799.70 ක පාඩුවක් රජයට සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයක් වෙත වාසියක් සලසා දීම යන චෝදනා මත සැකපිට චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා