දෙවන ලෝක යුද්ධයේදී ජපානය, චීනයට යටත් වීම එනම් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් චීනයේ දී අද විශේෂ උත්සවයක් පැවැත් වුණා. එහිදී පැවති දැවැන්ත හමුදා පෙළපාලියට චීනය සතු නවීනතම ආයුධ රැසක් එක්කර තිබීම විශේෂත්වයක්. ලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ අති විශාල දිය යට ඩ්‍රෝන යානා ඒ අතරට අයත්. මෙම සංවත්සරික උත්සවය ලෝකයේ කාගේත් දැඩි අවධානයක් දිනාගත්තේ ඊට ලොව ප්‍රබල නායකයින් තිදෙනෙකු එකට එක්වීම හේතුවෙන්. චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් එම නායකයින් තිදෙනායි. ෂී ජින්පින්, ව්ලැද්මීර් පුටින් සහ කිම් ජොන් උන් එකිනෙකා එකට හමුවූ පළමු අවස්ථාව මෙයයි. ඔවුන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙකු ඊට එක්ව සිටියා. එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පින් පැවසුවේ තම රට නැවැත්විය නොහැකි බවයි. තම රටට හිරිහැර කරන්නන් පිළිබඳ කිසි විටෙකත් බියට පත් නොවන බවද ඔහු එහිදී අවධාරණය කළා. කෙසේවෙතත් එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා. එහි දැක්වුනේ චීන ජනාධිපති ෂී ජිංපින් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවයි. එබැවින් “කරුණාකර ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නැයි” එහි සඳහන්ව තිබුණා.
Published