සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතික ගුවන් මගියෙකු, මෙරටට පැමිණීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් විසින් එම චීන ජාතිකයා මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගත් බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

28 හැවිරිදි වියේ පසුවන ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පරිගණක උපාංග විශාල ප්‍රමාණයක් ද රැගෙන පැමිණි එම චීන ජාතිකයා පිළිබද ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හමුවීමට තමා පැමිණි බවයි.

තවදුරටත් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ජාත්‍යන්තර සයිබර් මූල්‍ය වංචා ජාලයක තොරතුරු අනාවරණ වී තිබෙනවා.