ඉකුත්දා ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු අන්තර්ජාලයේ මුදාහැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදීයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති අතර එම සාකච්ඡාව විවිධ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත් කිරීමේ මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් එහිදී නියෝග කර ඇති බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.