එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදීයි. එහිදී වෙළෙඳ, වාණිජ, සංචාරක සහ ආයෝජන ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කර ඇති අතර එම ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කර තිබෙනවා. විනිවිදභාවය සුරක්ෂිත කිරීම ඇතුළු ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළුව රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දෙරට අතර වෙළෙඳ අසමතුලිතතාවය විසඳීම සඳහා ඵලදායී සහ සාධාරණ විසඳුම් සොයා බැලීම, ද්විපාර්ශ්වික වෙළඳාමට බලපාන බාධක අවම කිරීම සහ සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සබඳතා සහතික කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් එක්සත් ජනපද බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබදව ද එහිදී දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කර තිබෙනවා. එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා අතර හමුවක් ද නිව්යෝර්ක් නුවරදී සිදුව තිබෙනවා. එහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව උණුසුම් ලෙස පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. අනතුරුව දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. එම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.