ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියා.
ඒ, ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුවයි.
ජනාධිපතිවරයා ලබන 13 වැනිදා දක්වා ජර්මනියේ රැඳී සිටිනු ඇති.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
ජනාධිපතිවරයා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දැරීමට ද නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්ථනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇති. එමෙන්ම මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් ද හමුවීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහායි.
එහිදී මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතායි.
ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතායි.