ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පළමුව, මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේද බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද සිදු වුණා. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේදීයි. අස්ගිරි පාර්ශ්වයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ස හිමි අපවත්වීමෙන් පසු පුරප්පාඩු වු අනුනායක පදවිය සඳහා අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කරනු ලැබුවා.