තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියා.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම සංචාරයට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව තිබෙනවා.

මාලදිවයින රාජ්‍ය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටද නියමිතයි.

මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.