‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පුනරුත්ථාපන කටයුතු සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබෙනවා. ඒ, නායකයින් දෙපළ අතර ඊයේ පවත්වා ඇති දුරකථන සාකච්ඡාවකදීයි.
ආපදා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ ජීවිත හානි සහ විනාශයන් පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එහිදී සිය ශෝකය පළ කර තිබෙනවා.
ඉන්දීය ජනතාව, ශ්‍රී ලංකාවේ ජනතාව සමග ස්ථිර සහයෝගිතාවෙන් කටයුතු කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම දුරකථන සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.
ව්‍යසනයෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙන්ම සහන ද්‍රව්‍ය කඩිනමින් ලබාදෙමින් ඉන්දියාව ලබාදුන් සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය කෘතඥතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පළ කර තිබෙනවා.
ඉන්දීය පළමු ප්‍රතිචාරකයා ලෙස ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන කටයුතු සහ මහජන සේවාවන් නැවත ආරම්භ කිරීමේදී මෙන්ම බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීමේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම දුරකථන සාකච්ඡාවේදී සහතික වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.




