ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළා.

මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 25ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද අදහස් පළ කළා.

ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත් සුදුසු පියවර ගනිමින් සිටින බවයි ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට හමුවේ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් සියයට 23කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබා දෙන GSP ප්ලස් වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළ ජනාධිපතිවරයා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම, ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒමට රුකුලක් වනු ඇති බවද පැවසුවා.

වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා එහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකේදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළා.

දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම උත්සාහයන් තිරසාර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැදගත්කමද එහිදී අවධාරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි ගෝපිනාත් මහත්මිය එහිදී සහතික වුණේ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.