රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙනවා.

මල්වතු – අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම එම සාකච්ඡාවේ අරමුණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සහ භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් එහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීමටද ජනාධිපතිවරයා එහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.