ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද සිදු වුණා. ඒ, කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදීයි.

ඒ අනුව ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුව ද ඊට සමගාමීව අද දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත් වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබාදීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වනදා සිට ආරම්භ වුණා.

එම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට හිමි වනවා.

ඒ අනුව වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වනවා.

වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම එයින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩ ද මෙමගින් සීමා වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.