ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරින් වෙනුවෙන් සිදුකරන විශේෂ පුහුණු වැඩමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව එම විශේෂ පුහුණු වැඩමුළුව පසුගිය දා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණා.

එහි තුන් වන අදියර ලෙස දකුණු පළාත් වැඩසටහන අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කර තිබෙනවා.

පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය පිළිබඳ මෙන්ම වෛද්‍යාධාර අයදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදු වන ක්‍රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහිදී පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු සේවාවන් රැසක් මේ වන විට ජනාධිපති අරමුදලින් සැපයෙනවා.

වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට මෙම නව වැඩසටහන යටතේ ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.