ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආපදා තත්වය යටතේ විපතට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා "ක්ෂේත්රගත රෝහලක් " පවත්වා ගෙන යාම සදහා 41 දෙනෙකුගෙන් යුතු ජපන් ජාතික වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් අද දින(04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම ක්ෂේත්රගත රෝහල හලාවත මහ රෝහල ආසන්නයෙහි ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම රෝහල සදහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපකරණ, රසායනගාර පරීක්ෂණ සදහා අවශ්‍ය පහසුකම් සියල්ල ද මෙම ජපන් ජාතික වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින් රැගෙන විත් තිබෙනවා.
ජපාන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම රෝහල, සියලුම වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
මේ සදහා පැමිණි වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය අද දින(04) අලුයම 12.23 ට හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් යානයෙන් සහ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.





