ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මීළඟ වසර පහට සුදුසු භාරකරුවකු තෝරාපත්කර ගැනීමේ බස්නායක නිලවරණයට තවත් දින දෙකයි.
බස්නායක නිලවරණයක් පත්වන්නේ කෙසේද?
බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත 8(2) වගන්තිය අනුව බස්නායක නිළමේවරයාගේ ධුර කාලය අවසන් වූ පසු දින 90ක කාලයක් ගතවීමට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් බස්නායක නිළමේවරයකු තෝරා පත්කර ගැනීමේ තේරීම් මහ සභාවක් කැඳවිය යුතුය.
එලෙස කැඳවීමෙන් පසු මාසයක කාලයක් ලබාදී නිළවරණය පවත්වා බහුතර ඡන්දයෙන් පත්වන පුද්ගලයා ඉදිරි වසර 05ක කාලයක් සඳහා කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස පත් කළ යුතුය.
කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේවරයා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන 17කි.
මෙම ඡන්දය ද රටේ පවතින අනිත් ඡන්දවලට එහා ගිය එකකි. මන්ද මේ ඡන්දය පවත්වන දිනය දක්වා ඇතැම් අපේක්ෂකයන් ඡන්ද ඩැහැ ගැනීම සඳහා විවිධ තැගි භෝග තුටුපඬුරු විවිධ අයට ලබාදීම් සිදුකිරීම්ද ඉතා රහසිගතව සිදුවෙමින් පවතියි.
එම ඡන්ද සඳහා සුදුසුකම් ලබන පිරිස අතර මූලිකස්ථානය හිමිවන්නේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයටය.
ඒ අන් කිසිවක් නිසා නොව දුටුගැමුණු මහ නිරිඳුන් කතරගම මහ දේවාලය ආරම්භ කිරීමෙන් පසු ඉර හඳ තාරකා පවතින තුරු මෙහි තේවා කටයුතු කරගෙන යෑම සඳහා තේවා නිළ 505ක් පත්කර තිබීමත් හා එහි “පිරිත් නිළය” නම් රාජකාරිය කිරිවෙහෙරට ලබා දී තිබිමත්ය.
බස්නායක නිළමේවරයකු පත් කර ගැනීමේ ඡන්දයේදී කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ ඡන්දය සුවිශේෂී ඡන්දයක් බවට පත්ව තිබේ.
ඊට අමතරව කතරගම දේවාලයට මදක් දුරින් පිහිටා ඇති ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, වැඩසිටි කන්ද රාජමහා විහාරය, සෙල්ලකතරගම මහසෙන් රාජමහා විහාරය යන විහාරස්ථාන තුනද ඡන්දය ප්‍රකාශ කරනු ලබයි.
මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනා සහ කතරගම දේවාලයේ ඡන්දය හා කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාගේ ඡන්දය ද මීට ඇතුළත්ය.
මෙහිදී කතරගම දේවාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය හිමිවන්නේ දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයාට වන අතර යම් හෙයකින් ඔහුද බස්නායක නිළමේ ඡන්දයට ඉදිරිපත් වන්නේ නම් දේවාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔහු විසින් වෙනත් අයෙකු පත් කළ යුතුය.
එමෙන්ම මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද 11ක්ම ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන්ටය.
මෙහිදී කාන්තා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ සඳහා ඡන්දය ලබා දිය නොහැකිය.
ඡන්ද බලය හිමිවන්නේ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණකි.
ඒ අනුව මෙවර කතරගම පැවැත්වෙන බස්නායක නිළමේ ඡන්දයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්ද 11න් ඡන්ද කිහිපයක්ම නොලැබෙනු ඇත.
ඒ කාන්තා ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිප දෙනකුම මේ වන විට පත්ව සිටීම නිසාය.
මෙලෙස ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද හිමි 17 දෙනා ප්‍රමුඛ වූ සභාවේ මූලාසනය හිමිවන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයායි.
සියලු දෙනාගේ ඒකමතිකත්වයෙන් හෝ ඡන්දයෙන් පත්වන තැනැත්තා එතැන් පටන් වසර පහක කාලයක් එම ධුරයේ කටයුතු කරන අතර ධුර කාලයෙන් පසුව වුවද ඔහුට යළිත් පැවැත්වෙන නිළවරණයකට ඉදිරිපත්ව එම තනතුරට පැමිණිය හැකිය.
එමෙන්ම ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ අපේක්ෂකයන් කීයක් හිටියත් මුලින් යම් අයකුගේ නම යෝජනා කර තිබියදී තවත් අයකු විසින් තවත් නමක් යෝජනා කළොත් පමණයි ඡන්දය පැවැත්වීම සිදුකරනු ලබන්නේ.
එලෙස නොමැතිව එක් අයකුගේ නමක් පමණක් යෝජනා වී ස්ථිර වුවහොත් වෙනත් නම් ඉදිරිපත් නොවුනහොත් ඡන්දය නොවිමසීම විශේෂත්වයකි.
මෙලෙස බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 12 වන වගන්තියට අනුව ඡන්දයෙන් නිළමේවරයකු ලෙස පත්වන පුද්ගලයකු ඉල්ලා අස්නොවුනහොත් හෝ කිසිම් විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් වැඩ තහනම්වීමක් සිදු නොවුනහොත් හෝ නෙරපා හැරීමක් සිදුනොවුනහොත් ඔහුට එම තනතුරට පත් වූ දින සිට වසර 05ක කාලයක් සිය තනතුරේ කටයුතු කිරීමට බලය හිමිවනු ඇත.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට වැඩබලන බස්නායක නිළමේවරයකු පත් කිරීමටද බලය ලබාදී තිබේ.
ඒ විශේෂිත තත්ත්වයන් කිහිපයක් යටතේ පමණකි.
එසේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට වැඩ බලන බස්නායක නිළමේවරයකු පත් කළ හැක්කේ යම් බස්නායක නිළමේවරයකු තනතුර ප්‍රතික්ෂේප කිරීම සිදුකළ අවස්ථාවක හෝ ඔහු මියගිය අවස්ථාවකය.
නිලයෙන් අස්වීම හෝ පත් වූ නිළමේවරයාගේ දුර්වලකම, අයෝග්‍යතාවය නිලය අත්හැර දැමීම, නිලය තහනම් වීම හෝ නිලයෙන් නෙරපා හැරීම තුළ වස්තු භංගත්වයට පත්වීම යන හේතූන්මතය.
කෙසේ නමුත් මේ වන විට කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධුරය පුරප්පාඩු වී තිබිම නිසා නිළමේවරයකු තෝරා පත්කර ගන්නා තෙක් බෞද්ධ කටයුතු කොමසාරිස් ගාමිණී සේනාරත්න මහතා විසින් තාවකාලික වැඩ බලන බස්නායක නිළමේවරයකු කතරගම දේවාලයට පත් කිරීමට පසුගිය දින කටයුතු කෙරුණි.
ඒ අනුව මේ වන විට කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස පත් කර ඇත්තේ දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේ ලෙස කටයුතු කළ තිළිණ මදුෂංක මහතායි.
අප සිදුකළ විමසීමේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ගාමිණී සේනාරත්න මහතා පැවසුවේ හිටපු බස්නායක නිළමේවරයාගේ ධුර කාලය අවසන් වීම නිසා කතරගම දේවාලය සඳහා නව බස්නායක නිළමේවරයකු පත්කර ගතයුතු බවත්, ඒ සඳහා ඉතාමත් කඩිනමින් නිළවරණයක් පවත්වන බවත්ය.
දැනට වැඩ බලන බස්නායක නිළමේවරයෙක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
බස්නායක නිළමේවරයාගේ කාර්යභාරය
නිළ වශයෙන් පත්වන බස්නායක නිළමේවරයකුගේ නිළ කාලය වසර 05කි. එලෙස පත්වන බස්නායක නිළමේවරයා එම වසර 05ක කාලය තුළ කතරගම දේවාලයේ භාරකාරවරයා බවට පත් වෙනවා.
ඔහු විසින් දේවාලයේ අලි ඇතුන් නඩත්තු කිරීම, සේවකයන් පාලනය කිරීම, වාර්ෂික පෙරහැර සංවිධාය කිරීම, දේවාලයට අයත් ඉඩකඩම් ආදිය පිළිබඳව සොයා බැලීම හා එහි බදු එකතු කිරීම, දේවාලයට ලැබෙන පුදපඬුරු ගණනය කරලා නිසි පරිදි රජයට ලබා දීම ආදි කටයුතු රැසක් ඔහු විසින් කළ යුතුය.
එමෙන්ම දේවාලය සඳහා පත් කරනු ලබන නිළමේවරයා උසස් කුලයක විය යුතු බවයි සඳහන් වෙන්නේ.



