මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන “ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා - 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදීම අද සිදු කෙරුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනුව, පර්යේෂණ සහ නවෝත්පාදනය මත පදනම් වූ ජාතික සංවර්ධනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම වාර්තාව ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා. මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ තාවකාලික කමිටුව විසින්. එහි සම සභාපතිවරුන් ලෙස විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අමෙරිකා එක්සත් ජනපද ජාතික නව නිපැයුම්කරුවන්ගේ ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබනවා. මෙම වාර්තාව, විවිධ විෂයන්හි විශේෂඥයින් 26 දෙනෙකුගේ මෙන්ම, පර්යේෂණ සහ සංවර්ධනයට අදාළ වන අමාත්‍යාංශ 15ක උප කමිටු සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම වාර්තාවෙන්, 2026 වසරට අදාළ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා සහ එහි දිශානතිය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, කෘෂිකර්මාන්තය, බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් පරිවර්තන, තාක්ෂණික, සෞඛ්‍ය, කාර්මික, සංචාරක සහ සමාජ සංවර්ධන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙන නිර්දේශ අන්තර්ගත වනවා. මෙය, පර්යේෂණ සහ සංවර්ධනය රටේ දිගුකාලීන සමාජ ආර්ථික දැක්ම සමඟ පෙළගැස්වීම සඳහා සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්බන්ධීකරණ වාර්තාව බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.