ඉකුත්දා ධීවර වරාය කිහිපයකින් මුහුදු ගොස් අනතුරට ලක් වූ බහුදින යාත්‍රාවල සිටි කිසිදු ධීවරයෙකු ආරක්ෂිත කබා පැළඳ නොසිටි බව මේ වන විට කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ ධීවර කටයුතු සඳහා යාමට අවසර ගත යුතු බැවින් ආරක්ෂිත කබා යාත්‍රා තුළ තබාගෙන ගියද ධීවරයින් ඒවා පැළඳ සිටි නොමැති බවයි.

ඉකුත්දා සිදු වූ මෙම අනතුරුවල මුහුණ පෑ ධීවර කණ්ඩායම් තුනෙන් දෙකක සිටි ධීවරයින් ජීවිත රක්ෂණයක් ලබාගෙන නොසිටි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඉකුත් 28 සහ 29 යන දෙදින තුළ තංගල්ල, බේරුවල, දෙවුන්දර සහ හික්කඩුව යන ප්‍රදේශවලින් මුහුදු ගිය ධීවර යාත්‍රා 04ක් මෙලෙස අනතුරට ලක් වූ අතර ධීවරයින් හය දෙනෙකු මියගොස් තවත් එක් අයෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.