මිනීමැරිමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින්  ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කළා.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිවේදීන් මාර්ගයෙන්  ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
මෙම ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජුලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව
එම චෝදනාවට වරදකරු කෙරුණු ජුලම්පිටියේ අමරේ නමැත්තාට 2019 වසරේ තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.
එම දඩුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය ඉකුත් වසරේ(2024) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තංගල්ල මහාධිකරණය විසින්  ජුලම්පිටිය අමරේට පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කරමින් ඔහුගේ ඇපෑල නිෂ්ප්‍රභ කලා.

තංගල්ල මහාධිකරණයෙන් හා අභියාචනාධිකරණයෙන්  තමන්ට එරෙහිව ඇති දී ඇති තීන්දු  ඉවත්කොට අදාළ චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණා.

එම ඇපෑල  අද සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බව නියෝග කළා.