බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ට පිටියෙන් පිටත කම්පන සහගත සිදුවීමකදී පහරදීම සහ තර්ජන කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ජූලි 26 වන දින රාත්‍රියේ, ටස්කින් සිෆතුර් රහ්මාන් සෞරව් නම් පුද්ගලයෙකුව දුරකථන ඇමතුමක් මගින් මිර්පූර්-1 ප්‍රදේශයට පොළඹවාගෙන ගොස් ඔහුට ශාරීරිකව පහර දුන් බවට වාර්තා පළ වනවා.

සිද්ධියෙන් පසු, වින්දිතයා වන සෞරව්, මිර්පූර් ආදර්ශ පොලිස් ස්ථානයේ සාමාන්‍ය දිනපොතක් (GD) ගොනු කළ ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිසිය තවමත් නිල ප්‍රකාශයක් කර නොමැත.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ විනිසුරු කමිටුවේ සභාපති ඉෆ්තෙකාර් රහ්මාන් මිතු මෙම ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පවසා තිබෙනවා.

“මම අද උදේ මාධ්‍යවලින් මේ පුවත දැක්කා. අපේ නිලධාරීන් වන අමිනුල් ඉස්ලාම් බුල්බුල් සහ ෆාහිම් (නස්මුල් අබේඩින්) බායිත් ඒක දැකලා තියෙනවා. දැනටමත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේක ඇත්තටම වුණා නම්, ඒක හරිම අවාසනාවන්තයි. අයිකොන් ක්‍රීඩකයින් එවැනි කාරණාවලට සම්බන්ධ නොවිය යුතුයි. මොකද වුණේ කියලා හරියටම දැනගන්නකම් මම ඒ ගැන වැඩිදුර අදහස් දක්වන්න කැමති නැහැ.”

ටස්කින්, සෞරව්ව නිශ්චිත ස්ථානයකට කැඳවූ අතර එහිදී ඔහු ඔහුට පහර දී තුවාල කළ බව කියනු ලබන අතර, තර්ජන ද කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනා අතර මීට පෙර මිත්‍ර සම්බන්ධතාවයක් තිබි ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර, පාකිස්තානයට එරෙහිව පැවති තුන්වන විස්සයි20 තරගයේදී බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර පිටියේදී ඔහුගේ දක්ෂතා වෙනුවෙන් ප්‍රශංසා ලැබීමෙන් පසු, දැන් පිටියෙන් පිටත බරපතල මතභේදයකට ලක්ව තිබෙනවා.