අමෙරිකා එක්සත් ජනපදයට සිදු කරන ඉන්දියානු අපනයන සඳහා වන තීරු බදු සියයට 50ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය අසාධාණ ක්‍රියාවක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඉන්දීය රජය වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි. රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඉන්දියාව ඉලක්ක කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණේ. ඉන්දියාවේ ආනයන, වෙළඳපොළ සාධක මත පදනම් වී ඇති බවත් බිලියන 1යි දශම 4ක් වන සිය ජනතාවගේ බලශක්ති ආරක්ෂාව සහතික කිරීම අරමුණු කර ගනිමින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනටමත් පැහැදිලි කර ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා. එබැවින් තවත් රටවල් කිහිපයක් සිය ජාතික අවශ්‍යතා සඳහා ගන්නා ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාවට අමතර තීරු බදු පැනවීමට එක්සත් ජනපදය ක්‍රියා කිරීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් බවද ඉන්දී රජය පෙන්වා දී තිබෙනවා. ඉන්දියාවට අතිරේක සියයට 25ක තීරු බද්දක් පැනවීමට තීරණය කළේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට දඬුවමක් ලෙස බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඉන්දියාවට පනවා ඇති සියයට 25ක මූලික තීරු බද්ද අද සිට බලාත්මක වන අතර ඊයේ දිනයේ සිට පැනවූ සියයට 25ක අතිරේක තීරු බද්ද දින 21කට පසු බලාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ හේතුවෙන් මෝටර් රථ අමතර කොටස්, රෙදිපිලි, ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි ඉන්දියානු අපනයනවල පිරිවැය ඉහළ යනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම එම අතිරේක බදු පැනවීම ඉන්දියාවේ වානේ, රසායනික හා ඖෂධ කර්මාන්තවලටද විශාල බලපෑමක් ඇති කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
Published