අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත සති කිහිපයේදී ලබාදුන් දුරකතන ඇමතුම් කිහිපයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මඟහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අවස්ථා හතරකදී දුරකතන ඇමතුම් ලබාදී ඇතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ඇමතුම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි එම වාර්තා අනාවරණ කර ඇත්තේ. ජර්මානු පුවත් සේවාවක් සහ ජපාන පුවත් සේවාවක් මෙම තොරතුරු අනාවරණ කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස ක්‍රියා කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය හමුවේ ඉන්දියාව සහ අමෙරිකාව අතර සබඳතා දැඩි ලෙස පළුදු වෙමින් ඇති පසුබිමක් තුළයි. රුසියාව සමග පවතින සබඳතා සහ රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට විරෝධය පෑමක් ලෙස සියයට 25ක අමතරතීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය දා පියවර ගත්තා. ඒ අනුව ඉන්දියාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික තීරු බදු ප්‍රතිශතය සියයට 50ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා කළේ හෙට සිට තවත් සියයට 25ක තීරු බද්දක් ඉන්දියාවට පැනවීමට ට්‍රම්ප් පරිපාලනය සූදානමින් සිටින බවයි.