වානේ සහ ඇලුමිනියම් ආනයන බදු සියයට 50කින් ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා වන සියයට 25ක වත්මන් තීරුබද්ද සියයට 50ක් දක්වා දෙගුණ කරන බවයි.
පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවති රැළියකදී ඔහු මේ බව පවසා තිබෙනවා.
දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට මෙන්ම චීනය මත යැපීම අඩු කිරීමට මෙම තීරණය හේතු වනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
අමෙරිකාව සහ ජපානය අතර හවුල්කාරිත්වයක් හරහා අමෙරිකාව තුළ වානේ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 14ක් ආයෝජනය කරන බවද ඔහු පවසා තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ගිවිසුමකට එළඹීම සඳහා ජපානය සමග අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේදී නැවත බලයට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක කළ නව බදු ප්‍රතිපත්තිය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
ඔහුගේ බදු පැනවිමේ ක්‍රියාවලියේ නවතම තීරණය වන්නේ වානේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ මෙම නවතම බදු ප්‍රතිශතයයි.