තායිලන්තය හා කාම්බෝජ නායකයින් සටන් විරාමයක් සඳහා එකඟ වී තිබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දෙරටේම නායකයින් සමග සිදුකළ දුරකතන සංවාදයකින් පසුව එම එකඟතාවට පැමිණි බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

මෙම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයා දෙරට නායකයින්ට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ, සටන් විරාමයකට එකඟ නොවුණහොත්, වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බව පවසමින්.

මේ අනුව ඉදිරි දිනකදී දෙරටේ නායකයින් හමුවීමටද එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව තායි සහ කාම්බෝජ නායකයින් හෙට මැලේසියාවේදී හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා ගැටුම විසඳීම සඳහා මැලේසියාව මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට දෙරට එකඟ වී තිබෙනවා.

තවද මෙම ගැටලුවට වෙනත් කිසිදු රටක් සම්බන්ධ නොවිය යුතු බවට ද දෙපාර්ශවය එකඟ වී ඇති බවයි මැලේසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර යුද ගැටුම් අත්හිටුවීම සඳහා මැදිහත්වීම සම්බන්ධයෙන් තායිලන්තය හා කාම්බෝජය අමෙරිකා ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර තිබෙනවා.

දේශසීමා ගැටලු මුල් කර ගනිමින් තායිලන්තය හා කාම්බෝජය අතර පසුගිය සතියේදී ගැටුම් ආරම්භ වුණා.

ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයේම 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් දහස් ගණනක් අවතැන්භාවයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගැටුම් හේතුවෙන් දේශසීමා ආසන්නයේ පදිංචි සියලු වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි දෙරටම කටයුතු කර ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේදී දේශසීමා ආසන්නයේදී දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී තිබෙනවා.

මේ අතර තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.