ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිව නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසී, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා හටගෙන තිබෙනවා.

“රාජාණ්ඩුව නොවේ ප්‍රජාතන්ත්‍රවාදය” සහ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකල්පයක් නොවේ” වැනි සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන විරෝධතා සඳහා විශාල ජනකායක් එම නගරවලට එක්රැස් වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බොහෝ දෙනෙකු චෝදනා කළේ ට්‍රම්ප් පරිපාලනය තුළ සිදුවන ෆැසිස්ට්වාදය, ඒකාධිපති රජයක් කරා යන ගමනක් වන බවයි.

ට්‍රම්ප් නැවත ජනාධිපති වීමෙන් පසු කොංග්‍රසය විසින් අනුමත කරන ලද අරමුදල් අවහිර කිරීමට සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීමට, අනෙකුත් රටවලට දැඩි තීරුබදු හඳුන්වා දීමට සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ විරෝධතා නොතකා නගරවලට ජාතික ආරක්ෂක හමුදා යෙදවීමට විධායක නියෝග භාවිතා කළ බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

විරෝධතා ආරම්භ වීමට පෙර, ට්‍රම්ප්ගේ සහචරයින් විරෝධතාකරුවන්ට අන්ත වාමාංශික ඇන්ටිෆා ව්‍යාපාරය සමඟ සම්බන්ධ බවට චෝදනා කළ අතර, ඔවුන් වෛරී අමෙරිකා රැලිය හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් නගරය පුරා සාමකාමීව විරෝධතා දැක්වීම සඳහා ලක්ෂයකට අධික පිරිසක් රැස්ව සිටි බවත්, විරෝධතාවලට අදාළ කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

මෙම විරෝධතාවලට එරෙහිව ජනාධිපතිවරයා පවසා ඇත්තේ අර්බුදයක පවතින රටක් නැවත ගොඩනැගීම සඳහා තම ක්‍රියාමාර්ග අවශ්‍ය බවත්, තමා ඒකාධිපතියෙකු හෝ ෆැසස්ට්වාදියෙකු යන ප්‍රකාශද ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකාව පුරා පමණක් නොව යුරෝපය පුරා, බර්ලිනයේ, මැඩ්රිඩ් සහ රෝමයේ විරෝධතාකරුවන් වීදි බැස තම අමෙරිකානු විරෝධතාකරුවන්ට සහයෝගීතාවය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර ලන්ඩනයේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටද විරෝධතාකරුවන් සිය ගණනක් රැස් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.