අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවු බදු අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් අද අදහස් පළ කළා.

එක්ස් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඉන්දියාවට සියයට 25ක තීරු බද්දක් පනවද්දී ශ්‍රී ලංකාවට සියයට 20ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට සැබෑ වාසියක් අත්කර දීමට නම් බදු අනුපාතය සියයට 15ක් දක්වා අඩු කරගැනීමට අමෙරිකාව සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි ඔහු පවසන්නේ.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව දැන් කලාපයේ සෙසු රටවල් සමග තරඟ කිරීමට හැකි මට්ටමකට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඉන්දියාවට පණිවිඩයක් දිමට අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව භාවිත කර ඇති බවයි.

කෙසේවෙතත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ අමෙරිකානු තීරු බදු හමුවේ ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ අමෙරිකානු තීරු බදු අනුපාත තවදුරටත් වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් තම පක්ෂය පිළිගන්නා බවයි.

ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සම්බන්ධ වූ රජයට හා එම කණ්ඩායමට ප්‍රශංසා කරන බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ.