අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සැලසුම් කර තිබූ සාකච්ඡාව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, යුක්‍රේනයේ ක්ෂණික සටන් විරාමය රුසියාව ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් නුදුරු අනාගතයේ දී ජනාධිපති පුටින් හමුවීමට කිසිදු සැලසුමක් නොමැති බව ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබෙනවා.

යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට උත්සාහ කිරීම සඳහා තමා සහ පුටින් කඩිනමින් හංගේරියාවේදී හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ නිවේදනය කර තිබුණා.

කෙසේවෙතත් ට්‍රම්ප් දැන් පවසා ඇත්තේ ඵලදායි නොවන හමුවීමක් පැවැත්වීමට තමා අකමැති බවයි.

මේ අතර සටන් වහාම නතර කළ යුතු බව ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින්, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය ඇතුළු යුරෝපීය නායකයින් ප්‍රකාශ කළා.