අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ධවල මන්දිරය ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ ඔහුට පවතින නිධන්ගත රෝගයක් පිළිබඳවයි.

ධවල මන්දිරය පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ අත්වල පවතින තැලීම් පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී ඔහු නහර ආශ්‍රිත රෝගයකින් පෙළෙන බව හඳුනාගත් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ ඔහුගේ අතේ තැලීම් පෙන්නුම් කරන ඡායාරූප සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවති කතාබහකින් අනතුරුවයි.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා ඇත්තේ, මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාද ඉදිමීමේ තත්වයක් ඇති වීම හේතුවෙන් ඔහු සනාල පරීක්ෂාව ඇතුළු සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී ඇති බවයි.

79 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් පුරසාරම් දෙඩවූවකු ලෙස ප්‍රකට වී සිටිනවා.

ඔහු වරක් තමාව හඳුන්වාදී තිබුණේ එතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා ලෙසයි. එමෙන්ම අමෙරිකාව ජනාධිපති ධූරයට පත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවතින බවට මෑතකදී සොයා ගන්නා ලද නහර රෝගී තත්ත්වය නිදන්ගත ශිරා ඌනතාවය ලෙස හැඳින්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එවැනි රෝගී තත්ත්වයක් ඇති වන්නේ නහර හරහා රුධිරය නිසි ලෙස ගමන් කිරීමට අසමත් වූ විට එය අත් පාවලට එකතු වී පසුව ඒවා ඉදිමීමත් සමගයි.