තම ප්‍රධාන ඉලක්කය යුද ගැටුම් වලට මැදිවන අහිංසක ජනතාවගේ ජීවිත හානි බේරා ගැනීම බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ ඇලස්කාවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති සමුළුවෙන් පසු ෆොක්ස් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි. යුද්ධය ඉතා හානිදායක බවත් එය සැලකිය යුතු පරිමාණයකින් අමෙරිකාවට බල නොපාන බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ. ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති යුදමය තත්ත්වය නැවත වරක් මතු කරමින්, න්‍යෂ්ටික උත්සන්නවීමකට තුඩු දිය හැකි කරුණු වළක්වා ගත් බව ඔහු පවසා තිබෙනවා. ඉකුත් අප්‍රේල් මස පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 26 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය හමුදා මැයි මාසයේදී පකිස්ථානය විසින් අත්පත් කරගෙන සිටින කාශ්මීරය තුළ ත්‍රස්ත කඳවුරු නවයක් ඉලක්ක කර ගනිමින් සින්දූර් මෙහෙයුම දියත් කරනු ලැබුවා. මෙය ඉකුත් මැයි මස 10 වනදා දක්වා පැවතුන අතර, පකිස්ථානය සහ ඉන්දියාව පසුව සටන් විරාමයකට එළඹුණා. කෙසේවෙතත්, ට්‍රම්ප් කියා සිටියේ තීරුබදු තර්ජනයක් සමඟ ඔහුගේ මැදිහත්වීම හේතුවෙන් දෙරට අතර සතුරුකම් අවසන් වූ බවයි. එහෙත් මෙම ප්‍රකාශය ඉන්දියාව විසින් කිහිප වතාවක් කරනු ලැබුවා. තායිලන්තය සහ කාම්බෝජය, ඉරානය සහ ඊශ්‍රායලය, රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සර්බියාව සහ කොසෝවෝ, ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර ගැටුම් අවසන් කිරීමට තමා මැදිහත් වූ බවද ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.