සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. හරාරේ ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ටයි. දෙරට අතර පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරඟයද ජයගත හැකි වුවහොත් දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත හැකි වනවා. එසේ වුවහොත් සිම්බාබ්වේහීදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකාව විසින් ජයගනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇති. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරනවා. ඒ අනුව අංක තුනේ ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරා වෙනුවට කමිල් මිෂාර කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ. කුසල් ජනිත් පෙරේරාට ඔහු සහභාගී වූ අවසන් පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 04දීම සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.