හොරොව්පතාන - කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් සහ රිය සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරොව්පතාන, මොරකෑව පාසලේ ඉගෙනුම ලැබූ දස හැවිරිදි දැරියක්. ජීවිතක්ෂයට පත් වූ රිය සහායකවරයා 27 හැවිරිදි වියේ පසු වූ බවයි හොරොව්පතාන පොලිසිය පැවසුවේ. වවුනියා සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා. පාසල් අවසන් වී නිවස බලා යමින් සිටියදී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ මොරකෑව විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම දැරිය රිටිගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ. මේ අතර කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී ඊයේ සිදු වූ අනතුරෙන් එම පාසල් වෑන් රථයේ ගමන් ගත් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තවත් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කළා. එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියෝග කළේ සැකකාර රියදුරා සැප්තැම්බර් මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
Published