පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවීම සඳහා සහය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වනවා.
එම පක්ෂයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ ජාතික ජන බලවේගය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව එම තීරණයට එළඹුණු බවයි.
ඒ අනුව කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලය හිමි නොවූ නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල සහ දෙනියාය කොටපල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක සභාපති ධුර පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් ඒවායේ උප සභාපති ධුර ජාතික ජන පලවේගයට ලබා දීමටත් දෙපාර්ශවය එකගතාවකට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ලංකා කම්කරු කොංග්‍රසයට සභාපති ධුර ලබා දෙන පළාත් පාලන ආයතන හතරේ සභාපතිවරුන් ලෙස දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු සභාපතිවරුන් යළි පත් නොකරන ලෙසද ජාතික ජන බලවේගය ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වුණා.
ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන හතරේ සභාපති ධුර සඳහා නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට සිය පක්ෂයේ අවධානය යොමුව ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ඉහළ පෙළේ නිලධාරියෙකු පැවසුවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින් සඳහා ඊයේ විශේෂ රැස්වීමක්ද පවත්වා තිබෙනවා.
ඒ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදීයි.
එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය හා එක්විමට සිය පක්ෂය තීරණය කර ඇති බවයි.