ගත වූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලුන ද ගංඟාවල ජල මට්ටම අවදානම් මට්ටමකින් වැඩි වීමට තරම් තත්ත්වයක් මතුව නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා ජනතාවට දැනුම්දුන්නේ.
මේ අතර නායයෑමේ අවදානම් ලක්‍ෂණ පවතින ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයින්, දේපළවලට වඩා සිය ජිවිත ආරක්‍ෂාව පිළිබද අවධානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා.
එම ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ අවදානම් ස්ථාන නැවත පරීක්‍ෂාවට ලක්කර දැනට නිවාසවලින් ඉවත්ව සිටින ජනතාවට සිය නිවාස කරා යාමට පහසුකම් සැලසීමේ විශේෂ වැඩපිළිවෙලක් සිය ආයතනය මගින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කරගෙන ඇති පුද්ගලයින් ගණන 486ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 341 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් ගණන දහඅට ලක්‍ෂ හතලිස් හතර දහස් පනස් අටයි.
පුද්ගලයන් එක් ලක්‍ෂ හැත්තෑ එක් දහස් හත්සිය හැත්තෑ අට දෙනෙකු තවදුරටත් ආරක්‍ෂිත මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර නායයෑම් හේතුවෙන් නිවාස 2,303ක් පූර්ණ හානියට පත්ව ඇති අතර නිවාස 52,489ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව දැනට සිදුකරන ලද සමීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරිය පැවසුවේ.




