ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සමථයකට පත් කර ගැනීමට හැකියාව තිබෙන බව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.
එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම අද ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නා.
සිය විහාරස්ථානයට සම්බන්ධ කොටසක් කඩා ඉවත් කිරීම සඳහා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ  නියෝග ඉවත් කර ගැනීමට වග උත්තරකරුවන් එකඟතාවය පළ කර ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාල ස්ථානයේ අනුමත සීමාවට අනූකූළව කටයුතු කිරීමට පෙත්සම්කාර එකඟතාවය පළ කර තිබෙන බවත් පැවසුවා.
එම තත්ත්වය යටතේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
මෙම කරුණ  වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාද අනුමත කරමින් කරුණු දැක්වා සිටියා.
ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙතිසම පෙබරවාරි මස 20 වන දා කැඳවන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කරනු ලැබුවා.
එදින මෙම නඩුකරය සමථයට පත්කර ගැනීම  සඳහා ගෙන තිබෙන පියවර වල ප්‍රගතිය   දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා.