ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාදීකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර විහාරාධිපති හිමියන් කියා සිටින්නේ තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බවයි.

2014 වසරේ ජුනි මස හය වනදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ඉඩම එවක නායක හිමි මිහිඳුපුර මහින්ද වංශ තිස්ස හිමිට බලපත්‍රයක් යටතේ පවරා දුන් බවත් පෙත්සම තුළින් සඳහන් කර තිබෙනවා

තම විහාරස්ථානයට අයත් 57/ ටීජී දරණ ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව විසින් ලිපියක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2025.07.18 සහ 2025.07.25 දින වල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් කියා සිටිනවා.

එහෙත් ම එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් මේ සඳහන් වෙනවා

සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම් වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන් දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් චෝදනා කළා.
අදාල ඉදිකිරීම තුළින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන්ම ද්වේෂ සහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව අදාල විහාරස්ථාන ඉදිකිරීම් හෝ ඉන් කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කඩා ඉවත් කිරීම් වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විහාරාධිපති හිමියන් අභියාචනාදීකරණයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙම පෙත්සම විවාද කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අදාල ඉදිකිරීම් කඩා ඉවත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.