ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ සමාරම්භය 2025 ජුලි මස 22 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, එම අභ්‍යාසයේ මුහුදු අධියර 2025 ජුලි මස 23 වැනි දින නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ආරම්භ වි තිබෙනවා.

ඒ අනුව, 2025 ජුලි මස 23 වැනි දින නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), මුහුද මතුපිට ඉලක්කයන් වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), අවි හැසිරවීමේ අභ්‍යාස (GUNNEX) සහ මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP) පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදුකෙරුණා.

අද දින සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX), තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) සහ නැංගුරම් ලෑමේ අභ්‍යාස සිදුකර තිබෙනවා.

තවද, මෙම ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය යටතේ සිදුකෙරුණා විවිධ නාවික අභ්‍යාස සඳහා නාවික හමුදා නෞකා බළඇණියට අනුයුක්ත කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් හටද දායක වීමට අවස්ථාව උදාවී ඇති අතර ඔවුන්ගේ මෙහෙයුම් අත්දැකීම් වර්ධනය සඳහා එමඟින් විශාල දායකත්වයක් ගෙනදෙනු ඇති බවයි.