ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති ගරු පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වී ඇති බව ද වාර්තා වනවා.
මෙම හමුව අතරතුරදී, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අදහස් පළ කළ කථානායකවරයා, බුදුදහම ඔස්සේ දෙරට විසින් උකහා ගත් සංස්කෘතික හා ආගමික උරුමයන්හි වැදගත්කම විශේෂයෙන් අවධාරණය කළේය.
තායිලන්තය විසින් මෙරටට අඛණ්ඩව ලබා දෙන සහයෝගයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාව වර්තමානයේ විශේෂයෙන් කෘෂිකර්මය, කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උත්සාහ කරන බවද සඳහන් කළා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව යටතේ සැලසුම් කර ඇති ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව ගරු පයිටූන් මහපන්නපෝර්න් මහතා කථානායකවරයාට පැහැදිලි කළ අතර, දෙරටේ ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් මුලපිරීම් ද එයට ඇතුළත් බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම (FTA) සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීම පිළබඳ තානාපතිවරයා සිය බලාපොරොත්තු පළ කළ අතර, එමඟින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙනු ඇති බවට සිය විශ්වාසය පළ කළ තිබුණා.
සංස්කෘතික හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, වෙළඳ හවුල්කාරිත්වයන් සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙම සුහද සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, එය දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.