තායිවානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසා තිබේ. ඉන්දිහ මාධ්‍ය වාර්තා කලේ විදේශ අමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් චීනයට ප්‍රකාශ කර ඇති බවයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටි අතර එහිදී ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මුණ ගැසී ද්විපාර්ශවික සාකච්ඡා සඳහා එක්ව තිබිණි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා තායිවානය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය චීනය වෙත දැනුම් දී තිබුණේ එම අවස්ථාවේදීයි. "තායිවානය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයේ වෙනසක් නැත. ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ඉන්දියාව ද ආර්ථික, තාක්‍ෂණික සහ සංස්කෘතික සබඳතා කෙරෙහි අවධානය යොමු කරන සබඳතාවක් තායිවානය සමඟ ඇති බව අපි අවධාරණය කරමු. එය දිගටම කරගෙන යාමට අපි අදහස් කරමු," යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබිණි. නවදිල්ලියට පැමිණි වැන්ග් ඊයේ ජයශංකර් හමුවූ අතර ඔහු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ දේශසීමා ගැටලුව පිළිබඳ විශේෂ නියෝජිත මට්ටමේ සාකච්ඡාවලට ද සහභාගී විය.