ආසියානු කුසලන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ හොංකොං කණ්ඩායම සමග පැවති තරඟයෙන් කඩුලු 04ක තියුණු ජයක් ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 04ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

නිසාකට් ඛාන් පන්දු 38කදී නොදැවී ලකුණු 52ක් රැස් කළ අතර අන්ශුමන් රාත් පන්දු 46 කදී ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 29කට කඩුලු දෙකක් දවා ගත්තා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 44කදී ලකුණු 68ක් රැස් කළ අතර එය ඔහුගේ 17වන විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසයි වාර්තා අතරට එක්වුණේ.

කමිල් මිෂාර ලකුණු 19ක් රැස් කළ අතර කුසල් පෙරේරා ලකුණු 20ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 119ක් ලෙස සටහන්ව තිබියදී පැතුම් නිස්සංක දුවද්දී දැවී යාමකට ලක්වූ අතර එතැන් සිට ලකුණු 04ක් ඇතුළත තවත් කඩුලු දෙකක් බිඳවැටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ අවදානමකට මුහුණ පා සිටියා.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ වනිඳු හසරංග පන්දු 09කදී නොදැවී වේගවත් ලකුණු 20ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දුන් උඩ පන්දු කිහිපයක්ම හොංකොං ක්‍රීඩකයින් අතින් ගිලිහී යාම ඔවුන්ගේ අතින් මෙම තරඟය ගිලිහී යාමට ප්‍රබල බලපෑමක් එල්ල කළා.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 24 වන ස්ථානයේ පසුවන හොංකොං කණ්ඩායම සමස්තයක් ලෙස මෙම තරඟයේදී දැක්වූ දක්ෂතා ක්‍රිකට් විචාරකයින්ග් ඇගයීමටද ලක් වුණා.