තමිල්නාඩුවේ කරූර් ප්‍රදේශයේ ටී.වී.කේ පක්ෂයේ පැවති රැළියක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම තෙරපීමකින් මියගිය 28 දෙනා අතර ළමුන් 10 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට ටී.වී.කේ පක්ෂයේ නායක, රංගන ශිල්පි තලපති විජේ වෙනුවෙන් පැවති ප්‍රචාරක රැළියට දස දහස් ගණනක ජනතාවක් රැස්ව තිබු බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලපති විජේ ජනතාව ඇමතීමට නියමිතව තිබූ ස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ දහවල් කාලයේ සිට රැස්ව සිටි බවයි. රාත්‍රි කාලය වන තෙක්ම එහි රැඳී සිටි එම පිරිසට ජලය හෝ ආහාර නොලැබීම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ක්ලාන්ත වී ඇදවැටී මරණ සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල රැළිය සඳහා තලපති විජේගේ සහභාගී වීමට පෙර සිටම රැස්වීමට යොදවා සිටි ආරක්ෂක අංශවලට සෙනඟ පාලනය කරගත නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තමිල්නාඩු රජයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. එම ඛේදජනක සිදුවීමෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට කරූර් ප්‍රදේශයේ මහ ඇමතිවරයාගේ මහජන සහන අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට සැලසුම් කර තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන අයට රුපියල් ලක්ෂයක වන්දි ගෙවීමට ද තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාල සිද්ධියෙන් පසු තලපති විජේ ගුවන් යානයකින් චෙන්නායි බලා පිටව ගොස් තිබෙනවා. චෙන්නායි වෙත ලඟා වීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා අදාල සිද්ධිය පිළිබඳ කනගාටු වන බවයි.
Published