ඉන්දියාව සහ පකිස්ථානය අතර සාම ගිවිසුමක් සඳහා තමන් මැදිහත් වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී අසල්වැසි රාජ්‍යයන් දෙක අතර ඇතිවීමට ගිය යුද්ධය වැළකී ගියේ සිය තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මතභේදාත්මක තීරුබදු ස්ථාවරය වෙනස් කරන්නේදැයි ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා එම අදහස් දක්වා තිබෙනවා.

තමන්ට තීරුබදු බලය නොතිබුණේ නම් උණුසුම් වෙමින් පැවති යුද්ධ 07න් 04ක්වත් ඇවිළී යනු ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ ගැටුම් උදාහරණයක් ලෙස දක්වා ඇති අමෙරිකානු ජනාධිපතිවරයා සිය තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් එම යුද ගැටුම් දුරදිග යාම වැළකී ගිය බව පවසා තිබෙනවා.

ඉන්දු පකිස්ථාන යුද්ධය නැවැත්වීම සඳහා තමන් මැදිහත් වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙරද ප්‍රකාශ කර තිබුණා.

දිගු රාත්‍රියක සාකච්ඡාවලින් පසු ඉන්දියාව සහ පකිස්ථානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ.

යුද්ධය නතර නොකරන්නේ නම් රටවල් දෙකටම ඉහළ තීරු බදු පනවන බවට සිදු කළ බලපෑම හේතුවෙන් එම යුද්ධය වැළකී ගිය බවද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණා.

කෙසේවෙතත් යුද්ධය නතර කිරීමට අමෙරිකාව එවැනි මැදිහත්වීමක් සිදු නෙකාළ බවයි ඉන්දියාව මෙන්ම පකිස්ථානයද මීට පෙර ප්‍රකාශ කළේ.