Published
බලධාරින්ගෙන් තවමත් පිළිගත හැකි විසඳුමක් ලැබී නොතිබීම හේතුවෙන් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසනවා. තැපැල් හා විදුලි සංදේශන නිලධාරින්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ අමාත්‍යවරයා සමග ඇතිකර ගන්නා එකඟතාවයකින් තොරව වර්ජනය අත්නොහරින බවයි.
කෙසේවෙතත් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ඉල්ලා සිටින ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ඉටුකර ඇති බවයි. ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ ඉකුත් 17 වනදා සිටයි. මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාවකදී ද තැපැල් සේවය සම්බන්ධයෙන් අදහස් පළ වී තිබෙනවා. තැපැල් සේවාව වර්තමානයට ගැළපෙන අන්දමින් යාවත්කාලීන කිරීම පිළිබඳව ද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. කුරියර් සේවා වැනි සේවාවන් නවීන තාක්ෂණයට අනුව පරිවර්තනයන්ට ලක් කරමින් තැපැල් සේවාව නව මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කර තිබෙනවා.