ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවට නව පරිච්ඡේදයක් එක් කරමින් 2023 – 2025 ටෙස්ට් ලෝක ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.
ඒ, ලන්ඩනයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.
මෙම තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 212ක් රැස් කළ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ඉනිමේදී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 138ක් පමණයි.
දෙවන ඉනිමේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 207කට සීමා කිරීමට කගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.
සමස්ත තරඟයේදී කගිසෝ රබාඩා ලකුණු 110කට ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් 09 දෙනෙකු දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.
ඒ අනුව දෙවන ඉනිමේදී තරඟය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 282ක්. දකුණු අප්‍රිකානුවන් කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් මෙවර ටෙස්ට් ලෝක ශූරයන් බවට පත්වීමට සමත් වුණා.
ඒ, දිගු කාලයක් පුරා ඔවුන් අත්විඳි අමිහිරි අත්දැකීමක් වූ ක්‍රිකට් ලෝක කුසලාන සාපය නිමා කරමින්.
වසර 136ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන දකුණු අප්‍රිකාව ලොව තුන්වන පැරණිතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙනවා.
එවැනි දිගු ඉතිහාසයකට හිමිකම් කියන දකුණු අප්‍රිකානු කණ්ඩායම කුමන හෝ ආකෘතියක ක්‍රිකට් ලෝක කුසලානයක් හිමි කරගත් පළමු අවස්ථාව මෙලෙසටයි ක්‍රිකට් වාර්තා අතරට එක් වුණේ.
මීට පෙර 1998 වසරේ පැවති පළමු ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ දකුණු අප්‍රිනාව එතැන් සිට වසර 27කට පසු ජයගත් එකම ක්‍රිකට් ශූරතාවද මෙය වීම විශේෂත්වයක්.
ලෝක එක්දින ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ අවස්ථා 05කදී අවසන් පූර්ව වටය දක්වා පැමිණ දකුණු අප්‍රිකානුවන් අවසන් පූර්ව වටයේදී පරාජයට පත්ව අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදු වුණා.
2024 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදීද පරාජයට පත්වූ දකුණු අප්‍රිකානුවන්ට සිදු වුණේ අනු ශූරතාවකින් සෑහීමකට පත් වීමටයි.
ඒ අනුව සමස්තයක් ලෙස දකුණු අප්‍රිකාව ක්‍රිකට් ආකෘති ත්‍රිත්වය යටතේ ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 12ක් සහ අර්ධ අවසන් පූර්ව තරග 02ක් ක්‍රීඩා කර තිබුණා. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් අද ටෙස්ට් ශූරතාව ජයගැනීමත් සමග ඔවුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් සාපයද නිමාවට පත් වුණා.