මාලදිවයිනේ පැවති දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ පැසිපන්දු ශූරතා තරඟාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා බාලක බාලිකා කණ්ඩායම් දෙක ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

මෙම තරඟාවලිය මාලදිවයිනේ මාලේ අගනුවරදී ඉකුත් 11වනදා සිට ඊයේ දිනය දක්වා පැවැත්වුණා.

ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලදේශය සහ මාලදිවයින යන රටවල වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.

මෙම තරඟාවලියේ අවසාන මහා තරඟයේ දී ශ්‍රී ලංකා බාලක බාලිකා කණ්ඩායම් දෙකම අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

මෙම පැසිපන්දු කණ්ඩායම් දෙක පිළිගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.