නව ආණ්ඩුව විසින් ශ්‍රි ලාංකික ශ්‍රමික ප්‍රජාවට ඉහල වැටුප් හා ගුණාත්මක රැකියා ලබාදීම සඳහා සිදුකරන වැඩපිළිවෙලට එකගතාවය පළකිරීමෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට ලැබෙමින් පවතී.

ඒ අනුව එරට සෘතුමය රැකියා කාණ්ඩ (E-8) යටතේ රැකියා මෙරටට ලබාගැනීමට කොරියාවේ බෝසොං පළාත් පාලන ආයතනය සමග පැවති සාකච්ඡා සාර්ථක වී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාල කැබිනට් මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

යෝජිත අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සෘතුමය රැකියා වැඩසටහන යටතේ, කෙටි කාලයක් (උපරිම මාස 8) දක්වා බොංසොං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කිරීමට අවස්ථාව හිමිවනවා.

කොරියානු රජයේ E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසුකිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට හා ඒ සඳහා උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමග සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මීට පෙර එනම් 2025.02.19 හා 2025.07.01 දිනයන්හි ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකා සඳහා අනුමැතිය හිමි වි තිබෙනවා.

මේ අතර, මීට පෙර 2025.07.01 දින දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත සමග ධීවර හා කෘෂි අංශයේ රැකියා සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටද අනුමැතිය හිමිවිය.

ඒ අනුව අදාළ ගිවිසුම් අත්සන් කිරීම් සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව කාර්යාංශය සඳහන් කරනවා.

ශ්‍රමිකයින් බඳවාගන්නා ආකාරය හා ඊට අවශ්‍ය පහසුකම් පිළිබඳව ජනතාවට තොරතුරු දැනුම් දෙන අතර, එතෙක් රජයේ නිල නිවේදනවලට පමණක් අවධානය යොමුකරන ලෙසද කාර්යාංශය සඳහන් කරනවා.

විවිධ ප්‍රචාරනයන් සිදුකරමින් රැකියා අපේක්ෂිතයින් මුලා කරමින් මූල්‍ය වංචාකරන පුද්ගලයින්ට හසුනොවන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.