මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බවයි.

දකුණු මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් ඊයේ නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව එක් අයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයෙකු බවටයි වාර්තා වුණේ.

මේ අතර දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.

මෙම යාත්‍රාව අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එම යාත්‍රවේ තිබී සොයාගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 376කට අධික බවයි දැන් අනාවරණ වී ඇත්තේ.

එහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 115කට අධික ප්‍රමාණයක් තිබූ බවට දැන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ද කිලෝ ග්‍රෑම් 261කට අධික ප්‍රමාණයක් එහි තිබී ඇති බවට මේ වන විට ගණනය කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවා.

මෙම සියලු මත්ද්‍රව්‍ය මලු 18ක සහ පැකට් 300ක අසුරා තිබුණා.

ඒ අතරින් හෙරොයින් මත්ද්‍රව්‍ය මලු 05ක සහ පැකට් 100කද, අයිස් මත්ද්‍රව්‍ය මලු 13ක සහ පැකට් 200කද අසුරා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.