දකුණු පළාතේ නීති විරෝධී ලෙස පාසල් ළමුන්ගෙන් මුදල් එකතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව එම පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා.

පාසල් ළමුන් සහ දෙමාපියන් පීඩාවට පත් කරමින් මුදල් එකතු නොකරන ලෙසට පාසල් වෙත දැනුම් දී තිබුනද ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් නීති විරෝධී ලෙස තවදුරටත් මුදල් එකතු කරන බවට වාර්තා වන බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ.

ඇතැම් විදුහල්පතිවරුන් හිතවත් දෙමාපියන් හරහා එම මුදල් එකතු කරන ආකාරයක්ද වාර්තා වනවා.

එමෙන්ම විවිධ වැඩසටහන් සහ උත්සව සඳහා එකතු කරන මුදල තමන්ට දරාගත නොහැකි බවට ඇතැම් දෙමාපියන් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවා.

ඒ අනුව දකුණු පළාතේ ඇතැම් පාසල්වල එලෙස මුදල් එකතු කරමින් සිටි අවස්ථාවන් කිහිපයක් නතර කිරීමටයි තරයේ දැනුම් දී ඇත්තේ.

එම පාසල් සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවා.