සුඩානයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ එම නායයාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. දින ගණනාවක් පුරා පැවැති අධික වර්ෂාපතනයෙන් පසු පසුගිය අගෝස්තු 31 වනදා එම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම ආපදා තත්ත්වයෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි. නායයාමට ලක්ව ඇති ප්‍රදේශයේ පිහිටා තිබූ ටරාසින් නැමැති ගම්මානයේ වැඩි කොටසක් නාය ගොස් ඇති බවයි සුඩාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර ඇත්තේ. පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා මානුෂීය ආධාර ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින බවද සුඩාන විමුක්ති හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. සුඩාන හමුදාව සහ පැරා මිලිටරි ආධාරක බලකාය අතර 2023 වසරේදී ඇති වූ සිවිල් යුද්ධයෙන් පසු සුඩානය සාගතයකට මුහුණ දුන් අතර බොහෝ පිරිසක් රැකවරණය පතා මාරා කඳුකර කලාපය වෙත පලාගොස් තිබුණා. 2023 වසරේ සිට එරට සිවිල් යුද්ධය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ පනස් දහසක් පමණ මියගොස් ඇති අතර මිලියන 12ක පමණක් පිරිසක් නිවාස අතහැර ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. ඉකුත්දා සිදු වූ නායයාමට ගොදුරුව ඇත්තේ එලෙස යුද්ධය හේතුවෙන් පලාගොස් සිටි ජනතාව ජීවත් වූ ප්‍රකාශයක් බවයි පැවසෙන්නේ.