වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් වලට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතිනවා.

ඊට අමතරව තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මේ අතර කැබිතිගොල්ලෑව සහ මහව මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහි ද දළ ඇතුන් වෙඩි තබා මරා දැමීමේ සිද්ධීන්වලට අදාළ තවත් නඩු දෙක් විභාග වෙමින් පවතිනවා.

ඒ අනුව දැනට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින්නේ බරණ, රේවත සහ දීග දන්තු එක සහ සුමේධ යන නම්වලින් හඳුන්වන දළ ඇතුන් ඝාතනය කිරීමේ අපරාධවලට අදාළ නඩු හතරයි.

ඊට අමතරව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ යුනිකෝන් නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුවක් වන අතර කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින්නේ මහේශාඛ්‍ය නමින් හඳුන්වන දළ ඇතාට වෙඩි තබා බිම වැටී පණ පිටින් සිටියදී පොරවකින් එක් දළක් කපා රැගෙන යාමෙන් පසුව එම ඇතා මිය යාමේ සිද්ධියට අදළ නඩුව වනවා.

මේ අතර ආසන්නම සිද්ධිය වු භාතිය නමින් හඳුන්වන ඇතාට වෙඩි තැබීම නිසා මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබා පසුව මිය යාමේ සිද්ධියට අදාළ නඩුව විභාග වෙමින් පවතින්නේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

බරණ, රේවත සහ දීග දන්තු එකසහ සුමේධ යන නම්වලින් හඳුන්වන ඇතුන් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවලට ඇතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අතරමැදි පාර්ශවයන් ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් සභාපතීත්වය හොබවන වන සතුන්ට සහ ස්වභාව ධර්මයට යුක්තිය උදෙසා සංවිධානයයි.

ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජිතවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා පෙනී සිටිනවා.

පැමිණිළි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ ගල්කිරියාගම, මින්නේරිය, මැදවච්චිය සහ මහව වනජීවි කාර්යාලවල වනජීවි නිලධාරීන්. කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර, හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්දා ප්‍රශස්ති කරුණාරත්න, කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් නිමේෂිකා පටබැදිගේ සහ මහව මහේස්ත්‍රාත් කංචනී නර්ථනී අභිමානි සෙනවිරත්න යන මහත්මීන් විසින් මෙම නඩු විභාග කරනු ලබනවා.